Saturday, July 7, 2012

සම්මුඛ පරීක්ෂණයේ දී උපාධිධාරීන්ට රැකියා නොදෙන ආණ්ඩුවේ අලූත්ම නාඩගම හෙළිකරනු !

දේශපාලන ලිස්ට් එකෙන් 2010 සහ 2011 වසරවල උපාධිධාරීන්ටත් රැකියා දෙන, සම්මුඛ පරීක්ෂණය් දී එම වසරවල උපාධිධාරීන්ට රැකියා නොදෙන ආණ්ඩුවේ අලූත්ම නාඩගම හෙළිකරන ලෙස දන්වා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
මේවන විට ආණ්ඩුව උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු සඳහා බඳවා ගැනීමට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. එහිදී උපාධිධාරීන් අපහසුතා රැසකට මුහුණ පා ඇත. විශේෂයෙන් 2010 සහ 2011 වසරවල උපාධිය අවසන් කළ අය සඳහා අලූත් නීතියක් පනවා ඇත. එනම් 2009 දෙසැම්බර් 31 දිනට උපාධිය අවසන් කළ උපාධිධාරීන්ට පමණක් මෙම රැකියා ලබාදෙන බවයි. මෙය පුදුම සහගත ප‍්‍රකාශයක් වන්නේ මෙම බඳවා ගැනීම් සඳහා පළ කළ නිවේදනයේ එසේ වගන්තියක් සඳහන් නොවීම සහ පසුගිය මාස කිහිපය පුරා වසර භේදයක් නොමැතිව උපාධිධාරීන් බඳවා ගැනීම නිසාවෙනි. මෙසේ සම්මුඛ පරීක්ෂණයේ දී උපාධිධාරීන් බඳවා නොගෙන, පාලකයින් පවසන්නේ 2009 දෙසැම්බර් 31 දින දක්වා බඳවා ගැනීමට අලූතින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. එසේනම් එවැනි චක‍්‍රලේඛයක් රටට ඉදිරිපත් කළ යුතුය. නමුත් තවමත් එවැනි චක‍්‍රලේඛයක් තිබෙන බවවත් වගකිව යුත්තන් ප‍්‍රකාශ කර නැත. සමහර කාර්යාලවල අය පවසන්නේ ආණ්ඩුවට මුදල් නැති බැවින් බඳවා ගැනීම් සීමා කර ඇති බවයි. මෙම පරස්පර කරුණු හරහා මේ පිළිබඳ යම් සැකයක් අපට ද මතුව ඇත. මේ වනවිට කුමන තත්ත්වයක් යටතේ හෝ උපාධිධාරීන් 35000 ක් පමණ බඳවාගෙන ඇති අතර ඔවුන්ටද ඉදිරි වැඩපිළිවෙළක් සහිතව කාර්යභාරයක් පවරා නොමැති අතර උපාධියේ ගෞරවය පවා කෙළසවමින් ඇත. මෙම ව්‍යාකූල තත්ත්වය වහාම නවත්වා සියලූ උපාධිධාරීන්ට වසර භේදයක් නොමැතිව රැකියා ලබාදෙන ලෙසත් තවදුරටත් දේශපාලන බලය පාවිච්චි කරමින් රාජ්‍ය සේවය අර්බුදයට නොයන ලෙසත් අවධාරණය කරන අතර ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ සඳහා වැඩකරන මෙන් නව පත්වීම් ලබාගත් උපාධිධාරීන්ට කරන බලපෑම් නතර කරන ලෙසත් ඉල්ලා සිටිමු.