Wednesday, September 12, 2012

බදවාගත් සියළු උපාධිධාරීන් වහා ස්ථීර කරනු - උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය



බඳවාගත් සියලූ අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා ස්ථිර කරනු - උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය

E-mailPrintPDF

මීට මාස හයකට පමණ පෙර අභ්‍යාසලාභී පදනමින් රාජ්‍ය සේවයට බඳවාගත් සියලු උපාධිධාරීන් වහා ස්ථීර කරන ලෙස උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය ආණ්ඩුවට අවධාරණය කරයි. 
ඒ සම්බන්ධයෙන් ‘ලංකාවිව්ස්‘ වෙත අදහස පළකළ එම මධ්‍යස්ථානයේ සම සංවිධායක ධම්මික මුණසිංහ මහතා,
වසර ගණනාවක සිට මේ රටේ උපාධිධාරීන් තමන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අඛන්ඩ අරගලයක් කළා. පසුව මේ බලකිරීම නිසා ආණ්ඩුවට සිද්ධවුණා උපාධිධාරීන්ට රැකියා දෙන්න. නමුත් අපි ඉල්ලා සිටියෙ විධිමත් ක‍්‍රමවේදයක් හරහා මේ රැකියා සඳහා බඳවා ගන්න කියලා. ඒත් ආණ්ඩුව තම දේශපාලන හිතවත්කම මත තමන්ට පෝස්ටර් ගහපු, කැන්වසින් යනඅයට රැකියා දෙනවා කියලා ප‍්‍රසිද්ධියේ කිවා. මේ නිසා අකමැත්තෙන් වුවත් සමහර උපාධිධාරීන් පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව වෙනුවෙන් ඒ කටයුතු කළා. තමන්ට රැකියාවක් නැති නිසා රැකියාවක් ලබාගන්න. අපි මෙම ක‍්‍රමයට ඒ මොහොතේ විරුද්ධව සටන් කළා. මේ නිසා පුවත්පත් නිවේදනයක් මඟින් බඳවා ගන්න කටයුතු කළා. මේ සියල්ල බඳවා ගත්තෙ අභ්‍යාසලාභී උපාධිධාරීන් විදියට මාස 06ක කාලයක් සඳහා පුහුණුවකට. ඊට පස්සෙ ස්ථිර කරනවා කියන පොරොන්දුව මත. දැන් මාස 06 අවසන් කිසිවකු ස්ථිර කරල නැහැ. මේ අයට නිසි පුහුණුවකුත් නැහැ. සිද්ධවෙලා තියෙන්නෙ ගම පුරා ඇවිදල ගෙවල් වලට ගිහින් ඇටබෙදන්න, කුකුල් පැටව් බෙදන්න, ගෙවල්වල ගවදෙනුන්ගෙන් ගන්න කිරි ප‍්‍රමාණය බලන්න, පොල් පැල පටවන්න වගේ දේවල්. ඒ නිස අපි ආණ්ඩුවට කියනවා මෙලෙස මේ රටේ වසර ගණන් දුක්විදලා මහන්සිවෙලා උගන්වපු අහිංසක අම්මගෙ තාත්තට, ඔවුන්ගෙ දරුවගෙ ආත්ම ගරුත්වය විනාශ කරන්න එපා.
මෙතෙක් සෑම අයවැය යෝජනාවකින්ම ආණ්ඩුව පොරොන්දු වූණා උපාධිලාභීන්ට රැකියා දෙන්න. ජන සභා ලේකම් තනතුරු 14400ක් බඳවා ගන්නවා කියලා අයදුම්පත‍්‍ර කැඳෙව්වා. එකක්වත් දුන්නෙ නැහැ. ඊට පස්සෙ පසුගිය කාලයේ අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගත්තා. අයදුම්පත් කැඳවන්නෙ නැතිව, සම්මුඛ පරීක්ෂණ නැතිව ඉතිහාසයේ පළමු වතාවට බඳවා ගැනීම් සිදු කළා. අපි ඒ මොහොතේ මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිලි කළා. විරෝධතා පැවැත්වුවා. රාජ්‍ය සේවයකියන් නෙමේ රටේ ජනතාවගේ මුදලින් නඩත්තුවන ආයතයක්. අපගේ විරෝධතා වලින් පස්සෙ පුවත්පත් දැන්වීමක් මඟින් අයදුම්පත‍්‍ර කැදෙව්වා. ඒත් ඒ වන විට විශාල ප‍්‍රමාණයක් බඳවාගෙන. අයදුම්පත‍්‍ර කැඳවන්නෙ පෙබරවාරි 16 වෙනිදා. ඒත් පත්වීම් දෙන්න පටන් ගත්තේ පෙබරවාරි මාසෙ 04 වෙනිදා. මහනුවර පත්වීම් දෙන්නෙ පෙබරවාරි 17 වෙනිදා. කොහොමද අයදුම්පත‍්‍ර කැඳවලා දවසකින් බඳවා ගන්නෙ. සම්පූර්ණ දේශපාලන මැදිහත්වීම මත මේ සඳහා බඳවා ගත්තෙ. මේක සම්පුර්ණ වැරදි ක‍්‍රම වේදයක්.
බඳවා ගත්ත පිරිසට පුහුණුවක් කීවට පුහුණුවක් දුන්නෙ නැහැ. මේ අයට කරන්න වෙලා තියෙන්නෙ විහිළු සහගත වැඩ. කරන්න වෙලා තියෙන දේවල් අපි කියනම්. කලවානෙ කුකුල් පැටව් බෙදන්න, කුකුල් පැටව් ගණන් කරන්න වෙලා. දැන් අභ්‍යාසලාභී උපාධිධාරීන් දකින කොට පොඩි දරුවො කියන්න අරන් ‘අන්න කුකුල් මිස් එනවා’‘ කුකුල් සර්’ එනවා කියලා. රැකියා දුන්න එක හොඳයි. හැබැයි මේ තරම් බාල්දු කරල තමයි මේ රැකියාව දුන්නෙ. මේකද උපාධිලාභියාට දෙන ගරුත්වය. කැකිරාවේ අභ්‍යාසලාභින්ට බිත්තිවල තීන්ත ගාන්න සිද්ධවෙලා තියෙනවා. වත්තල පරණ ගොඩනැඟිල්ලක කුණු අස්කරන්න සිද්ධවෙලා. බුලත් කොහුපිටියෙ පොල් පැල පටවන්න අදින්න සිද්ධවෙලා. මඩකලපුවෙ කලවංචිකුඩිවල පාසල්වල දිවා ආහාරය පිළියෙල කරන්න සිද්ධවෙලා තියෙන්නෙ මේ අභ්‍යාසලාභී උපාධිධාරීන්. ඉතිං අපි අහන්නෙ මේ රටේ උපාධිධාරියාට දෙන අභ්‍යාසය මේකද ?
ජනාධිපතිවරයා කියනවා රැකියා විරහිත යුගය අවසන් කියලා. මම ලක්ෂයකට උපාධිලාභින්ට රැකියා දුන්න කියල පම්පෝරි ගහනවා. අපි කියනවා ජනාධිපතිවරයාට බොරු බේගල් කියන්න එපා. 2004 වර්ෂයේ 42000කට රැකියා දුන්නෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති කාලයේදී. ආර්ථික සංවර්ධන ඇමතිවරයා කිව්වා සැප්තෑම්බර් 01 වෙනිදා 17000ක් ස්ථිර කරනවා කියලා. අද සැප්තැම්බර් 11 කොහේද ස්ථිර කරල තියෙන්නෙ. ඒ අයගේ නාම ලේඛනත් හදන්නේ මැතිඇමතිවරු. කෑගල්ල දිස්ති‍්‍රක්කයේ බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වසම්හි නාම ලේඛනය ජ්‍යෙෂ්ට අමාත්‍ය තිස්ස විතාරණ තමයි හදල තියෙන්නෙ. රට පුරාම එහෙම තමා වෙන්නේ.
අපි අවධාරණය කරනවා බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සුදුසු රැකියාවල අනුයුක්ත කර වහාම ඔවුන් ස්තිර කරන්න. ඒ වගේම මේ රටේ අධ්‍යාපනයත් වෙනස් විය යුුතුයි. නව තාක්ෂණය සමඟ එයට ගැලපෙන ලෙෂ අධ්‍යාපනය වෙනස්විය යුතුයි. ජනාධිපතිවරයාගේ පුතාට අභ්‍යාවකාශ තාක්ෂණය ඉගෙන ගන්නවා වගේම රටේ අනෙක් ජනතාවගේ දරුවන්ටත් ඒක ඉගෙගන්න පුළුවන් ක‍්‍රමයට අධ්‍යාපනය සැකසිය යුතුයි. ක්ෂතියට ඉහලින් ලොව දකින්න රාජපක්ෂ දරුවන්ට විතරක් නෙවෙයි සමස්ථ දරුවන්ට අවස්ථාව ලැබිය යුතුයි. ඒ සඳහා 6‍්‍ර ක් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කළ යුතුයි කියලත් අපි කියනවා.

උපුටාගැනීම - ලංකා වීව්ස් වෙබ් අඩවිය.


No comments:

Post a Comment